දරුවන් අධ්‍යාපනයට යොමු කරද්දී සැලකිය යුතු දේවල්

දරුවන්ගේ අධ්‍යාපන මාවත සැලසුම් කිරීම දෙමව්පියන් සතු මහඟු යුතුකමකි. දරුවාට අනවශ්‍ය මානසික පීඩාවන් ඇති නොවන පරිදි නිවසේ පරිසරය ගොඩනඟා දීම, නිසි මාර්ගෝපදේශයන් ලබාදීම සහ ලබා ගත හැකි අය ආශ්‍රයට ඉඩ සැලසීම මව්පිය අපගේ වගකීම වේ. මේ සියළු දේ සඳහා ඔබ විසින් සලකා බැලිය යුතු දේ මේවා යි.

ඉගෙනීමේ වැදගත්කම දරුවන්ට කියාදීම

යම් දෙයකට ආසාවක් හිතෙන්නට නම් එහි වැදගත්කම වටහාගැනීම වැදගත් වේ. විශේෂයෙන් කුඩා දරුවන් දෙයකට ආසා වන්නේ ඉන් තමාට කිසියම් ආත්ම තෘප්තියක් ලැබෙනවා නම් පමණයි. එනිසායි ඔවුන් කාටූන් වැනි ෆැන්ටසි තුළින් තමන්ගේ සිත යට තිබෙන ආසාවන් විඳගන්නට උත්සාහ කරන්නේ.

මව්පියන් අනුකරණය කරන්නට බලා සිටින දරුවන්, මව්පියන් පොතපත කියවනු දකිනවා නම් ඔවුන් ද නිතැතින්ම ඊට යොමුවෙති. නින්දට යාමට පෙර හෝ දරුවන් හා කාලය ගත කරද්දී ඔවුන් සමඟ පොත් කියවීමට කටයුතු කරන්න. එසේම, නිවසේ පොත් රාක්කයේ පිරී ඇති ලස්සන චිත්‍ර ඇති ඉංග්‍රීසි පොත්වල ඇති සුරංගනා කතා වටහා ගත නොහැකි නම් ඊට ඉංග්‍රීසි දැන සිටීම අත්‍යාවශ්‍ය බව ඔවුන් තේරුම් ගනු ඇති.
එදිනෙදා ජීවිතයේ සිදුවන විද්‍යාත්මක සිදුවීම් (දේදුන්න ඇතිවන්නේ ඇයි, පැන්සලක් ජලයට දැමූවිට ‍නැමෙන්නේ ඇයි) ප්‍රශ්න කරමින් පහදා දීම ඔවුන්ට ඉදිරි අනාගතයට පිටිවහලක් වනු ඇති.

අධ්‍යාපන ආයතන තෝරා ගැනීමේදී එහි ස්වභාවය සලකා බැලීම

මහා පරිමාණ අධ්‍යාපන ආයතනවල ඇති එක් ගැටළුවක් වන්නේ ඉතා විශාල සිසුන් පිරිසක් තනි පන්ති කාමරයක යෙදවීම මඟින් දරුවන්ට ලැබෙන අවධානය ඉතා අවම වී යාම යි. එසේම, වෙහෙසකර ලෙස දිනකට අධික පැය ගණනක් අධ්‍යාපනය සඳහා සීමා කරවීමෙන් ඵලදායී ලෙස ඉගෙනුමක් නොලැබී යයි.
මනසට වඩාත් උචිත ‍ඉගෙනුම් ක්‍රමවේදයන් සමග ගුරු-සිසු සබඳතාව වඩාත් සමීපව ලැබෙන අධ්‍යාපනය මඟින් දරුවන්ගේ කාලයත්, දෙමව්පියන්ගේ මුදල් නාස්ති වීමත් සිදු නොවෙයි.

සාර්ථක පාඨමාලාවක් තුළින් ලද හැකි දේවල් නම්; දරුවාගේ විභාග පුනරීක්ෂණ ලකුණු වෙත ගුරුවරයාගේ ඍජු අවධානය යොමු වීම, ඒ තුළින් දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනගා දීම, පාඨමාලාවට අදාල ප්‍රධාන කුසලතාවන් සහ උපායමාර්ග උගෙනීමට සහ තවත් වර්ධනය කරගතයුතු දෑ පිළිබඳ අවස්ථාවන් සලසා දීම යනාදිය යි.

දරුවන්ට අනවශ්‍ය පීඩනයක් නොකිරීම

දරුවන් ඉගෙනීමට වඩා සෙල්ලමට ප්‍රිය යි. මේ නිසා ම ඔවුන්ට නිවසේදී පාඩම් කියා දීමේදී, විශේෂයෙන් ඉංග්‍රීසි වැනි විෂයයකදී ඔවුන් ඉන් මිදෙන්නට උත්සාහ කිරීමට ඇති ඉඩකඩ වැඩියි. නිවසේ නිතර ඉංග්‍රීසි භාවිතා නොවීම, ඉංග්‍රීසි බසින් යුත් චිත්‍රපට ආදිය නැරඹීමට අවස්ථාව නොතිබීම වැනි කාරණා නිසා ඔවුන්ට ඒ පිළිබඳව ඇති අවශ්‍යතාව නොදැනෙයි.

වැඩි වැඩියෙන් පීඩනයක් එල්ල කළහොත් ඔවුන් මානසික ආතතියට ලක්වී තවදුරටත් ඉන් මිදී යන්නට උත්සාහ කරයි.

‍ඉගෙනුම අතර නිසි විවේක කාල පරතර තැබීම, විනෝදයෙන් උගනීමට අවස්ථාව සැලසීම, ඉගෙන ගැනීමට අවස්ථා ප්‍රමාණය වැඩි කිරීම ආදිය මෙන්ම සුදුසුකම්ලත් සහ පළපුරුද්ද ඇති ගුරුවරු හරහා ඔවුන්ට සැහැල්ලුවෙන් භාෂා බාධක බිඳලන්නට අවස්ථාව සලසා දීම මෙයට විසඳුම් වේ.

කුඩා කල පටන් භාෂා හැකියාවන් වර්ධනයට අවස්ථාව සැලසීම

දරුවකුට ‍ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙනීමට හොඳම වයස අවුරුදු 10 බව පර්යේෂණ පෙන්වා දෙයි. එබැවින් පෙර-පාසල් ආරම්භයත් සමඟ සරල මට්ටමේ සිට ඉංග්‍රීසි ඉගෙනීම ආරම්භ කරන්නට දරුවන්ට අත්වැල් දීම ඔවුන්ට පහසුවක් වනු ඇත.

සියළු දේ පාසලින් ම උගනිනු ඇතැයි වගකීමෙන් නිදහස් නොවී, ඊට පෙර පටන්ම භාෂා හැකියාවන් වර්ධනය කිරීමෙන් වැඩිවියට පත්වත් ම වෙනත් භාෂාවක් ඉගෙනීම යනු ඔවුන්ට මැජික් එකක් නොවනු ඇත. ඇමරිකාවේ කළ පර්යේෂණයකින් සනාථ වී ඇත්තේ සති 6ක භාෂා ඉගෙනුම් කාලයකින් මොළයේ ඵලදායී ලෙස ව්‍යුහමය හා ක්‍රියාකාරීත්ව වෙනස්කම් ඇතිවන බවයි.
එළැඹෙන වසර සඳහා ඔබේ දරුවාගේ ඉදිරි ගමන වඩාත් පැහැදිලි මාවතකට යොමු කිරීම සඳහා දැන් පටන්ම සැලසුම් කිරීම දෙමව්පිය ඔබේ යුතුකමකි. එම සැලසුම නිසා වඩාත් ඵලදායීව ඔවුන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන විට, ඔවුන් ඔබට දිනෙක තුති පූර්වක වනු ඇති අතරම නූතන ව්‍යාපාරික ලෝකය තුළ ඔවුන්ගේ ජීවිතය වඩාත් සුවපහසු එකක් බවට පත්වනු නොඅනුමාන ය.

 

 


 

Comments