අනූව
දශකයේ ඉපදුණු 90ස් කිඩ්ස්ලාට ටීවී එකත් එක්කලා තිබුණේ විනෝදාත්මක වගේම
ගුණාත්මක සම්බන්ධයක්. ඒ අයගේ රසවින්දනය මොට්ට වෙලා යනවා වෙනුවට අලුත් දෙයක්
ගැන හිතන්න පුරුදු වුණා. ටීවී චැනල්වල වුණත් නම්පචම් නැතුව ළමයින්ට විශේෂ
වැඩසටහන් වෙනුවෙන් කාලය වෙන් කරා. ඒ ළමා වැඩසටහන් අතර ඉංග්‍රීසි කතා
මාලාවලට ලොකු ඉල්ලුමක් තිබුණා. සමහර වෙලාවට වෙනත් භාෂාවක නිර්මාණයක් අපේ
භාෂාවකට හඬකවනකොට ඒකෙ තියෙන ගුණාත්මක ගතිය නැති වෙනවා. මේ නිසා ගොඩක් කතා
විකාශය වුණේ සිංහල උපසිරැසි එක්ක. මේ ඒ වගේ මතකයේ රැඳෙන කතා මාලා කීපයක්.
එදා මෙදා තුර අත්විඳින්න ලැබුණු සුපිරිම ටෙලිවිෂන් අත්දැකීම මේක කිව්වත්
වැරද්දක් නැහැ. ඒ තරමට ම උන්මාදයක් ඇති කරපු චරිතයක් තමයි රොබින් හුඩ්.
මෙයා එක්ක මැරියන්, චක්, විල්, ලිට්ල් ජෝන් වගේ ආදරණීය චරිතත් ගිබ්සන්,
ෂෙරිෆ් වගේ නපුරු චරිතත් තිබුණා. එංගලන්ත ජනකතාවන් පදනම් කරගෙන නිර්මාණය
කෙරුණු කොටස් විසිහයක දිගහැරුම අදටත් මතක් කරන්නේ ඒ දවස්වල වගේ ම ආසාවෙන්.
මේකේ තේමා ගීතය, පසුබිම් සංගීත ලේසියෙන් අමතක කරන්න බැහැ. ඉස්කෝලේ යන කාලේ
රොබින් මැරියන් කියලා සෙල්ලමක් පටන් ගත්තෙත් මේක බලලා හැදුණ පිස්සුවෙන්
තමයි.
ස්වර්ණවාහිනියෙන් කරපු පින් අතේ වැඩක් තමයි මේ. ඒ දවස්වල කට්ටියගේ හිතේ
අහිංසක ආදරයක් ඇති කරපු කෙල්ලගේ කතාව. අබිරහස් මුහුදු කෙල්ලටයි එයාගේ
යාළුවොන්ටයි වුණ ජල්තර කොහොම අමතක කරන්නද!
මේ ITN එකෙන් කරපු ප්‍රජා සත්කාරයක්. හවසට ප්ලේන්ටියක් එක්ක බිස්කට් එකක්
කන ගමන් Zack Files බලනකොට දැනෙන රහ තමයි රහ. සැක් ග්රින්බර්ග් කියන
අවුරුදු දොළහේ ගැටයට පින්සිද්ධ වෙන්න එයාටයි එයාගේ යාළුවො සෙට් එකටයි වෙන
අරුම පුදුම දේවල් බල බලා ළමා කාලය ගතකරන්න තරම් වාසනාවන්තකමක් සමහර ඈයෝන්ට
තිබුණා ඉතින්.
1.30ට ඉස්කෝල ඇරුණු කාලේ එලෝ මෙලෝ නැතුව කට්ටිය ගෙදර දුවන් එන්නේ
ට්විස්ට් පවුලට වෙන අකරතැබ්බ ටික බලාගන්න. ලයිට්හවුස් ගෙදර තාත්තත් එක්ක
ජිවත් වෙන පීට්, ලින්ඩා සහ බ්‍රොන්සන්ගේ විකාර අදටත් මතක් වෙනකොට සතුටක්
වගේම දුකකුත් දැනෙනවා.
ඇලෙක්ස්ගේ සමාගමේ වැඩ කරන පයි, මයික්, මාචෙලෝ, බෙක්, රැම් ගැන දන්නේ
නැහැ කියන්නේ ලස්සන ළමා කාලයක් තිබ්බේ නැහැ කියන එක. එතකොට වර්ජිල් ගැන
දන්නේ නැහැ කියන්නේ.. අන්න ඒකට නම් එයාට දුක හිතේවි. පරිගණක ක්‍රීඩා ගැන
යන්තන් දෙයක් දැනගන්න කාලෙම දකින්න ලැබුණු ලස්සන කතාවක් නිසා ගොඩක්
ප්‍රේක්ෂකයෝ මේ කතාවට හිටියා. තාමත් ඉන්නවා.
නගරයකට අමතක වෙලා ගියපු සුපිරි වීරයෙක්ව ඇලෙක්ස්, ජෝෂ්, කැම්ප්බෙල්,
ග්‍රේටල් හොයාගන්නවා. සුපිරි වීරයෙක් වෙන්න නම් අරුම පුදුම බලයක් ඕනි නැති
බව මේ කතාව බලපු අය නම් දන්නවා ඇති.
හාලන්, කැටලිනා, රාදු, බෝවා, රෝසී, කමාන්ඩර්, මිස් ඩෙවන්පෝට්… ඇයි
තෙල්මා! මෙයාලාට හැමදාම මොකක් හරි බාල්දියක්. මෑතකදී මේකේ නැවත විකාශයක්
ගියා සක්වල දඟකාරයෝ කියන නමෙන්.
ඒ කාලේ අක්කලා නංගිලා කිසිම සබකෝලයක් නැතුව පිළිගත්තු චරිතයක කතාවක්
තමයි මේ. සත්තුත් එක්ක කතා කරන්න පුළුවන් අභියෝග පස්සේ පන්නගෙන දුවන වීරයා.
ඒ දවස්වල අයියලා මල්ලිලා මෙයාගේ වැඩකෑලි දාන්න ගිහින් හාවෝ පැනපු අවස්ථාත්
තිබිලා තියනවා.
ප්‍රොෆෙසර් නෝනා කෙනෙක් පෞරාණික බඩු හොරකම් කරන හොරුන්ට ලෙලි යන්න
නෙලන්නේ මේ කතාවේ තමයි. මෙයත් එක්කම ඉන්න ගෝලබාලයා නයිජල්ගේ වීරකම් ගැන
අමුතුවෙන් කියන්න ඕනි නැහැ.
ගොඩක් කතා මාලා විකාශය වුණේ ජාතික රුපවාහිනියේ. රොබින්සන් අන්දරය කතාවේ
ලොකු අයියව දෙවෙනි පාරට දකින්න වෙන්නේ විලියම් ටෙල් විදියට. ලෝඩ් සැක්ස්,
ලියොන් දෙන්නගේ නපුරුකම්වලින් ලෝකය බේරගන්න විලියම් එක්ක අරුණා, ක්රිල්,
ඩ්‍රෝගෝ වගේ ම කලෙම්ගේ උපදෙසුත් අවශ්‍ය වුණා.
Comments
Post a Comment