ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 50ක්
ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 50ක්
ඉංග්‍රීසි කියන්නෙ මේ කාලෙ අත්‍යවශ්‍යම දෙයක් වෙලා.
රැකියාවේ වැඩකටයුතු, අන්තර්ජාලය සම්බන්ධව වැඩ කටයුතු වලට පමණක් නෙමෙයි, බොහොමයක් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලටත් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් වෙලා.
ඉතින් ඔබ ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමට උත්සාහ කරන, යම් අපහසුතා තිබෙන කෙනෙක් නම්, මේ තොරතුරු ටික ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි.
1. වැරදීම් සිදු කරමින් කතා කිරීමට බිය වන්නට එපා. ඔබ ගැන විශ්වාසය ඇති කරගන්න. අනෙකුත් අයට ඔබව නිවැරදි කළ හැක්කේ ඔබ වැරදීම් සිදු කරමින් කතා කරනවානම් පමණයි.
2. ඔබව ඉංග්‍රීසි වලින් වට කරගන්න. ඉංග්‍රීසි කථා කරන වටපිටාවක ජීවත් වීමට උත්සාහ කරන්න. එවිට ඔබට සක්‍රිය හා අක්‍රිය ව ඉංග්‍රීසි ඉගෙන ගැනීම සිදු කළ හැකි සිදුකළ හැකි වනවා. ඉංග්‍රීසි ඉගෙනීමට හොඳම ක්‍රමය ඉංග්‍රීසි කතා කිරීමයි.
3. දෛනිකව ඉංග්‍රීසි පුහුණු වන්න. ඉංග්‍රීසි අධ්‍යයන සැලැස්මක් සකසා ගන්න. ඔබට සතියකට ඉංග්‍රීසි ඉගෙනීම වෙනුවෙන් වෙන්කළ හැකි කාලය තීරණය කර එයට අනුගත වන්න. කාල සටහනකට අනුව වැඩ කරන්න.
4. ඔබගේ ඉංග්‍රීසි අධ්‍යයන සැලැස්ම සම්බන්ධයෙන් ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට පවසන්න. එම සැලැස්මට අනුගත වීමට ඔබට බල කරන්නැයි ඔවුන්ට පවසන්න. ඊට අවහිර කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන්න.
5. භාෂාවේ මූලිකාංග 4 පුහුණු කරන්න. කියවීම, ලිවීම, කතා කිරීම හා සවන් දීම. ඔබට ඉංග්‍රීසි වැඩි දියුණු කරගැනීමට මෙම 4ම අත්‍යවශ්‍ය වෙනවා.
6. ඔබ සමඟ සැම විටම කුඩා සටහන් පොතක් තබාගන්න. ඔබ ඉගෙන ගන්නා නව වචන එහි ලියන්න. ඒවා වාක්‍ය වල භාවිතා කරන්න. ඒවා භාවිතා කරමින් කතා කරන්න.
7. දිනකට එක් වරක්වත් ඔබගේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් පාඩම් කටයුත්තක් සිදු කරන්න.
8. කට පාඩම් කිරීම කියන්නෙ විභාගයක් ලිවීමට වගේ දේකට මතක තබා ගන්නා ආකාරයක්. නමුත් මෙහිදී එය අසාර්ථකයි. මොකද කට පාඩම් කළ දේ විභාගයෙන් පසුව මතකයෙන් ගිලිහෙනවා. ඉතින් ඉංග්‍රීසි කඩ පාඩම් කරන්න යන්න එපා. කළ යුතු වන්නේ භාවිතයයි.
9. ඔබගේ ශරීරයේ ඔරලෝසුවට අනුව වැඩ කරන්න. ඔබට උදේ වරුවේ ඉගෙනීම් කරන්නට බැරි නම් හවස් වරුවේ හෝ රාත්‍රියේ ඉගෙනීම් කටයුතු සිදු කරන්න.
10. ඔබ නව වචන ඉගෙනීමට උත්සාහ දරන විට එය වාක්‍යයක් තුළ යොදා මතක තබා ගැනීමට උත්සාහ කරන්න. එවිට වචන මතක තබා ගැනීම ඉතා පහසු වනු ඇති.
11. විභාගයක් වෙනුවෙන් පමණක් ඉංග්‍රීසි ඉගෙනීම සිදු නොකරන්න. ඔබට හොඳ ඉංග්‍රීසි හැකියාවක් තිබෙන විට එය ඔබට, ඔබගේ ජීවිතයට ධනාත්මකව බලපානා ආකාරය සිතට ගන්න.
12. ඔබ, ඔබට දිගු කාලීන ඉලක්කයක් ලබා දෙන්න (ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වෙනුවෙන්). ඒ වෙනුවෙන් වැඩ කරන්න.
13.ඔබ, ඔබගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වෙනුවෙන් කෙටි කාලීන ඉලක්ක ඔබගේ සිතට ලබා දෙන්න. ඒවා ජය ගන්න. ඒ ජයග්‍රහණ වෙනුවෙන් ඔබටම තෑගි, ප්‍රශංසා ලබා දෙන්න.
14. ඔබ "ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නිසා ඉගෙන ගනිමි" යන සංකල්පයෙන් බැහැරව, ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීම අවශ්‍යයි යන සිතිවිල්ලේ සිට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔබ කැමැත්තෙන් ඉගෙන ගන්නවා නම් ඔබ වඩා හොඳින් ඉගෙනගන්නවා.
15. ඔබට ගැළපෙන ක්‍රම තේරුම් ගන්න. මීට පෙර ඔබට සාර්ථක වූ ක්‍රම මේ වෙනුවෙනුත් භාවිතා කරන්න.
16. ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට පහසුම ක්‍රමය තේරුම් ගන්න. එය, කියවීමෙන්, ලිවීමෙන්, කතා කිරීමෙන් හෝ සවන් දීමෙන් සිදු වන්නට පුළුවන්. ඔබට සාර්ථක ක්‍රමය හඳුනා ගෙන ඒ ඔස්සේ ගොස් ඉගෙනගන්න. සමහර අවස්ථා වලදී ඒ ක්‍රම වල සම්මිශ්‍රණයක් වන්නටත් පුළුවන්.
17. ඔබට නොතේරෙන යමක් ඇති නම් ඔබගේ නෑදෑයෙකුගෙන්, ගුරුවරයාගෙන්, මිතුරන්ගෙන් හෝ වෙනස් අයගෙන් ඒවා අසා තේරුම් ගන්න.
18. පුණරීක්ෂණය කරන්න, පුණරීක්ෂණය කරන්න, පුණරීක්ෂණය කරන්න. ඔබ උගත් දේ යළි යළිත් අධ්‍යයනය කරමින් අභ්‍යාස කරන්න.
19. තනිවම අධ්‍යයනය කරන විට මිනිත්තු 30කට වඩා අධ්‍යනයන් කරන්න එපා. නිති පරිදි කුඩා විවේක ලබා ගන්න. පොඩ්ඩක් නැගිටල එලියට ගිහිල්ල හුළං ටිකක් වැදිල, අත පය දික් කරල හිරි ටිකක් ඇරල මිනිත්තු කිහිපයකට පස්සෙ ආපහු ආරම්භ කරන්න.
20. ඉක්මනට ඉක්මනට Level Up වෙන්න උත්සාහ කරන්න එපා. ඉන්න level එකට හිත යොමු කරල එම මට්ටමේ හැකි තරම් දියුණු වෙන්න උත්සාහ කරන්න. ඒ මට්ටම ගැන ඔබ ඇත්තටම සෑහීමකට පත් වනතුරු ඒ මට්ටමේම ඉඳන් වැඩ කරන්න.
21. TV එකේ ෆිල්ම් බලනවට වඩා DVD එකක් ගෙනත්, නැතිනම් පරිගණකයේ ෆිල්ම් එකක් බලන එක තමා වඩා හොඳ. මොකද ඔයාලට මොනව හරි තැනක් මිස් උනොත්, ආපහු අහල තේරුම් ගන්න ඕනෙ උනොත්, ඒක ඉතාම පහසුවෙන් කරන්න හැකියාව තිබෙන නිසා.
22. රූපවාහිනියෙන් දේවල් බලනකොට ඒක යලිත් අහන්න බැරි වෙන නිසා, දෙයක් මුල් වතාවෙම තේරුම් ගන්න උත්සාහ කරන්න ඔයාලට ඒකෙන් අවස්ථාවක් ලැබෙනව. මේක ගොඩක් හොඳයි යම් ඉංග්‍රීසි දැනුමක් තියෙන අයට. අනිත් එක, මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනව ඉංග්‍රීසි තමන්ගෙ මව් භාෂාව උනු කෙනෙක් එක්ක කතා කරනකොට. මොකද එයාලට එයාල කියපු දෙයක් ආපහු කියන්න කියල ඔයාලට කියන්න ඕනෙ වෙන්නෙ නෑ.
23.විවිධ වයස් මට්ටම් වලට / විවිධ ඉංග්‍රීසි දැනුම මට්ටම් වලට වෙන් කරලම සකස් කරපු කතා පොත් තිබෙනවා. ඒවායෙන් ඔබගේ ඉංග්‍රීසි දැනුමට ගැළපෙන ආකාරය් පොත් තෝරාගෙන කියවන්න. එය කියවීම ඔබට පහසුවෙන් කළ හැකි වනවා පමණක් නොවෙයි, ඔබට මුළු පොතම කියවා අවසන් වූ පසු ලොකු සතුටකුත් දැනේවි.
24.ඉහත කිව්ව වගේ විවිධ දැනුම මට්ටම් වලට සකස් කරපු පොත් නොමැති උනත් ළමා පොත් කියවීම සිදු කිරීම ඉතාම පහසුයි. මොකද ඒවා ඉතාම සරළ බසින් ලියා ඇති නිසා. ඒවායින් ආරම්භ කරන්න, ටික ටික ඉහළට එන්න,
25. පුවත්පත් කියන්නෙ හොඳම මාධ්‍යයක් වාක්‍ය රටා, කර්මකාරක වාක්‍ය, වාර්තානුකූල ආකාරයේ වාක්‍ය ඉගෙනගන්න. ඇයි අලුත් වචන. ඉතින් පුවත්පත් කියවල ඒ දේවල් ඉගෙනගන්න උත්සාහ කරන්න.
26. දේවල් කියවනකොට සම්පූර්ණ වාක්‍යම නැතිනම් වාක්‍යයක හැම කොටසක්ම තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. සරළව එහි අදහස තේරුම් ගන්න උත්සාහ කරන්න. පසුව නොතේරෙන වචන, වාක්‍ය කොටස් පිළිබඳ සොයා බලා තේරුම් ගන්න.
27. ඔබට නොතේරෙන වචන තිබෙන විට ඒ වාක්‍යයේ අනෙකුත් වචන සමඟ වාක්‍යයේ අදහස තේරුම් ගන්න උත්සාහ කරන අතරෙ අර නොදන්නා වචනයේ තේරුම තේරුම් ගන්න උත්සාහ කරන්න. වටේ තියෙන වචන හරහා ඔයාට ඉඟියක් ගන්න පුළුවන් වෙයි. ඒ තේරුම එක්ක යළි වාක්‍ය තේරුම් ගන්න. පසුව නිවැරදිම තේරුම සොයා බලන්න.
28. වචනයකට සමාන තේරුම් තිබෙන පද හඳුනා ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට වචන තේරුම් ගැනීම වඩාත් පහසු වෙනවා. (උදා: Scribe = Write, Minimum = Small)
29. අලුත් වචනයක් ඉගෙනගත්තම ඒකෙ තියෙන අනෙකුත් අවස්ථා පිළිබඳත් සොයා බලන්න, ඉගෙනගන්න. උදා: Beautiful (Adjective-නාම විශේෂණ පදය), Beauty (Noun-නාම පදය), Beautifully (Adverb-ක්‍රියා විශේෂණය)
30. උපසර්ග පද ඉගෙනගන්න. (Prefixes and Suffixes). ඒවායින් වචන වල තේරුම් වෙනස් වන හැටි ඉගෙනගන්න. ඒ හරහා ඔබගේ Vocabulary එක දියුණු කර ගැනීම තවත් පහසු වේවි. (Prefixes = dis---, un---, re--- = DISlike, UNresponsive, REwork, Suffixes = ---ly, ---ment, ---ful = correctLY, achieveMENT, beautiFUL
31. ඔබට හැකි සෑම විටම හැකි සෑම අවස්ථාවකදීම ඉංග්‍රීසි භාවිතා කරන්න.
32. ඔබ ඉංග්‍රීසි කියවනකොට, අහගෙන ඉන්නකොට කිසිම වෙලාවක ඒක ඔබගේ මව් භාෂාවට පරිවර්තනය කර කර තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඉංග්‍රීසියෙන් හිතන්න. ඉංග්‍රීසියෙන් ඔබ සමඟ සිතින් කතා කරන්න. එතකොට ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාව තව තවත් දියුණු වෙනවා.
33. ඉංග්‍රීසි භාෂාව පෙළ පොත් කියවලම ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට එය භාවිතා කරන්නම සිද්ද වෙනවා.
34. ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙන ගන්න තිබෙන පහසුම ක්‍රමය තමයි ඉංග්‍රීසියෙන් කතා කරන එක එතකොට ටික ටික ඔයාට ඉබේම ව්‍යාකරණ රීති මතක හිටිනවා. ඔබ එන්න එක්ක නිවැරදිව කතා කරන්න ගන්නවා.
35. ඉංග්‍රීසියෙන් දින පොතක් ලියන්න. මුලදි වාක්‍ය කිහිපයකින් ආරම්භ කරන්න. පස්සෙ ටික ටික වැඩි කරන්න. එතකොට ඉංග්‍රීසියෙන් ලියන පුරුද්ද ඔබට ඉබේම එනව. ඒ හරහාම ඔබ දියුණු වෙනවා.
36. ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් එකක් ආරම්භ කරන්න. ඔබගේ දැනුම, අදහස් ඉංග්‍රීසියෙන් ලියල ලෝකය එක්කම බෙදා හදා ගන්න
37. ඔබට හොඳ ඉංග්‍රීසි කතුවරයෙන් වෙන්න ඕනෙ නම් මුලින් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ගැන හිතන්නෙ නැතිව කොලේක හිතෙන හිතෙන දේවල් ලියන්න. ඔබට අවශ්‍ය ආකෘතිය ගැන පමණක් හිතන්න. Brain Storm කරන්න. එහෙම සකස් කරගත්තට පස්සෙ, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස ගළපමින් ඔබේ නිර්මාණය සිදු කරන්න. අන්තිමට ඒක වඩා දැනුමැත්තෙක්ගෙ අතට දීල සෝදුපත් කියවාගන්න.
38. විරාම ලකුණු ගැන අවදානය යොමු කරන්න. මොකද වැරදි තැනක යොදන කොමාවකින් මුළු වාක්‍යකම තේරුම කනපිට හරවන්න පුළුවන්. ඒ නිසා විරාම ලකුණු නම් වරද්දගන්න එපා. උදා: බලන්න මේ වාක්‍ය දෙක. 1. A woman without her man is nothing”. 2. “A woman: without her, man is nothing”. පේනවනෙ? එකම වචන සෙට් එකට විරාම ලකුණු දෙකකින් කරපු වෙනස?
39. ඔබ ගායනයට දක්ෂද? ඉතින් ඇයි ඔබගේ ඉංග්‍රීසි දැනුම ඉංග්‍රීසි ගීත හරහා දියුණු කර නොගන්නෙ? ඉංග්‍රීසි ගීත ඉගෙනගන්න. ඒව ශබ්ද නගා ගායනා කරන්න. ඒකෙන් ඔබගේ ඉංග්‍රීසි දැනුම විතරක් නෙමෙයි, ඔබගේ ගායන හැකියාවත් දියුණු වෙනවා.
40. ඔබට ඉංග්‍රීසි කතා කරන්න බයද, කෙනෙක් නැද්ද? Chat rooms, Forums, Community Sites කියන්නෙත් හොඳ විසඳුමක්. ඒවා හරහා වෙනත් අයත් එක්ක ඉංග්‍රීසියෙන් චැට් කරන්න ඔබට පුළුවන්, ඉංග්‍රීසියෙන් ඔබගේ අදහස් ලියන්න පුළුවන්.
41. ඉංග්‍රීසි කියන්නෙ භාෂා කථනයේදී සමහර තැන් වල වචනය බර කරල කතා කරන භාෂාවක්. ඒක අපි ඉගෙනගන්න ඕනෙ. නැත්තම් වචන වන හරි උච්ඡාරණය ගන්න බෑ. ඒක හරිම ලේසි දෙයක්. එසේ බර කරල ශබ්ද කරන්නෙ අනිවාර්යයෙන්ම ස්වරයක්. (a,e,i,o,u). ස්වර එකක් තියෙන වචනයකදී ඒ ස්වරයත්, ස්වර දෙකක් හෝ කිහිපයක් තිබෙන වචනයකදී දෙවන ස්වරයත් මත තමයි බර යෙදෙන්නෙ. උදා: beGIN, TEAcher, HAPpy.... වශයෙන්.
42. ඉංග්‍රීසි භාෂාව භාවිතා වන දෙබස් තිබෙන වැඩසටහන්, කතා බලන ගමන් ඒ දෙබස් අනුකරණය කරන්න. වාක්‍ය කිහිපයක් අහගෙන ඉඳල, ඒක pause කරල ඒ වාක්‍ය ඒ විදිහටම කියන්න. ඒ කතා වල තිබෙන රටාව, කතා විලාසය ඉගෙන ගන්න.
43. නිවසේ, වාහනයෙදී, ගමන් බිමන් වලදී ගුවන්විදුලිය අසනවාද? එසේ නම් ඉංග්‍රීසි වැඩසටහන් වලට සවන් දෙන්න. නිවසේදී හෝ වාහනයෙදී ඔබ උවමනාවෙන් ඒ දෙබස් ඇසුවෙ නැතත්, ඔබ ඔබගේ කණ ඉංග්‍රීසි වලට හුරු කිරීමක් ඔබට නොදැනීම සිදු කරනවා.
44. පොඩි කාලෙ ඉංග්‍රීසි කාලච්ඡේදයේදී කරපු Dictation මතකද? ඇයි දැනුත් ඔබට ඒක කරන්න පුළුවන්. ඔබ සවන් දෙන ඉංග්‍රීසි ලියන්න පුරුදු වෙන්න. ඔබගේ Listening and writing skills දෙකම ඒකෙන් වැඩි දියුණු වෙනවා.
45. හුඟක් අය තමන්ගේම කටහඬ අහන්න කැමති නෑ. නමුත් මෙතනදි නම් එහෙම වෙලා බෑ. ඔබ ඉංග්‍රීසියෙන් කතා කරන දේවල් පටිගත කරන්න. ඒවා යළිත් අසන්න, ඔබගේ වචන උච්ඡාරණය, භාෂා විලාසය ඔබම පරික්ෂාවට ලක් කරන්න. එවිට ඔබටම හැකියාව ලැබෙනවා ඔබගේ දුර්වලතා හඳූනා ගන්න.
46. ඔබගේ ඉංග්‍රීසි ගුරුවරයා කියනා දේවල් ඔබ පටිගත කර ගැනීමට අවසර ගන්න. ඒ පටිගත කරගත් කටහඬ යළිත් අසමින්, ඔහුගේ / ඇයගේ භාෂා විලාසය, වචන උච්ඡාරණය හරහා ඉගෙනගන්න උත්සාහ කරන්න. (ඔබගේ ගුරුවරයා හොඳින් ඉංග්‍රීසි හසුරවන්නෙක් යයි උපකල්පනය මත.)
47. ඉංග්‍රීසි - ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් භාවිතා කරන්න. එවිට ඔබට හැකියාව ලැබෙනවා ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරමින් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැතුව, ඉංග්‍රීසියෙන්ම හිතන්න, දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න, ඉගෙන ගන්න. ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂ නම් භාවිතයට ගන්න උත්සාහ කරන්නම එපා.
48. ඉංග්‍රීසි - ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් භාවිතා කරන්න අපහසු නම් ඔබට තවත් විසඳූමක් තිබෙනවා. ඒ තමයි English Learners' Dictionaries. මේවා සකසා ඇත්තේ විවිධ මට්ටම් වල ඉංග්‍රීසි ඉගෙනගන්න සිසුන් සඳහාමයි.
49. ශබ්ද කෝෂයක් කියන්නෙ, පහසුකමක් / අත්වැලක් පමණයි. ඒක ඔබගේ ගුරුවරයා කරගන්න උත්සාහ කරන්න එපා. නොදන්නා වචන වල තේරුම් හිතලම තේරුම් ගන්න උත්සාහ කරන්න.
50. අතාරින්න එපා. ධනාත්මකව හිතන්න. ඔබට සමහර අවස්ථා වලදී හිතෙන්නට පුළුවන් ඔබට අවශ්‍ය තරම් ඉක්මනින් ඔබ ඉගෙනගන්නේ නෑ කියල. හුඟක් අයට මෙහෙම හිතෙනව. එහෙම හිතුන කියල අත අරින්න එපා. ටික ටික හරි ඔබට ඔබගේ ඉලක්කයට යන්න ශක්තිය ලැබෙනව.
That's good
ReplyDelete