මේ දේවල් 7 කලොත් ඕන කෙනෙකුට ඉංග්‍රීසි පුළුවන් වෙනවා



අපි හැමෝම කැමතියි ඉංග්‍රීසි ඉගෙන ගන්න. එත් එහෙම හිතන අපි කීයෙන් කී දෙනාටද සාර්ථකව ඉංග්‍රීසි ඉගෙන ගෙන අවසන් කරන්න ලැබෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සහ කරන බහුතරයක් දෙනා වැඩි කාලයක් නොගොස්ම ඒ වැඩේ නවත්තලා දාන්නේ ඉංග්‍රීසි කියන්නේ කිසිදා ඉගෙන ගැනීමට නොහැකි අමාරු දෙයක් ලෙස සිතමින්. ඔවුන් ඊට පස්සේ නැවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සහ කරන්නෙත් නෑ. ඒ තරමටම වැඩේ එපා වෙනවා. නමුත් ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ ඉගෙන ගැනීමට අපහසු භාෂාවක් නෙවෙයි. ඉතාමත් සරල ව්‍යාකරණ හා සීමිත අක්ෂර සංඛ්‍යාවක් භාවිතා වන , පහසු උච්ච්චාරණ සහිත භාෂාවක් වන ඉංග්‍රීසි නියම ක්‍රමවේද ඔස්සේ අධ්‍යනය කලොත් ඉක්මනින් අල්ල ගන්න පුළුවන්. ඔන්න අද විශ්ම ලෝකයෙන් අපි ඔබට කියා දෙනවා බොහොම පහසුවෙන් හා එපා වෙන්නේ නැති විදියකට ඉංග්‍රීසි ඉගෙන ගන්න පියවර කිහිපයක්. මේ පියවර සියල්ල ඔබ නිවැරදිව අනුගමන කලොත් ඉක්මණින්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වේවි.

කෝස් එකක්

වැඩේ පටන් ගන්න ඕනේ මෙන්න මෙහෙමයි. මුලින්ම ඔයා හොද ඉංග්‍රීසි කෝස් එකකට ජොයින් වෙන්න ඕනේ. එක ලොකු එකක්ම වෙන්න ඕනේ නෑ. ඔය ගෙදර ලග පාත තියෙන පොඩි පන්තියක් උනත් කමක් නෑ. මෙහි මුලික අරමුණ වෙන්නේ ඔයාට අවශ්‍ය ඉංග්‍රීසි න්‍යායික දැනුම නිවැරදිව ලබා ගන්න එක.ඒ කිව්වේ ඔය ව්‍යාකරණ , නිවැරදි උච්චාරණ වගේ මුලික දැනුම ලබා ගන්න එක. මේක අතවශ්‍ය පියවරක්.

ඉංග්‍රීසියෙන් කතාව

හරි ඊලඟට කරන්නේ තියෙන්නේ බැරි බැරියාවේ හරි ඉංග්‍රීසියෙන් කතා කරන පටන් ගන්න එක.   අමුතුවෙන් හිතලා කතා කරන්නේ ඕනේ නෑ. ඔබ දෛනිකව සිංහලෙන් කතා කරන දේවල්ම ඉංග්‍රීසියෙන් කතා කරන්න. මේ වැඩේට ඔයාගේ හොදම යාළුවා , ගෙදර ඉන්න සහෝදර සහෝදරිය , මව , පියා හෝ ඔබ ලගින් ඇසුරු කරන කවුරැ හරි සෙට් කර ගන්න. මුලින් ඔවුන් අකමැති වේවි. කොහොම හරි කැමති කර ගන්න. තව දෙයක් තමයි මට වරදීවි කියන බය හිතින් නැති කර ගන්න එක. වැරදුනාට කමක් නෑ. ඔබ පන්තියෙන් ලබා ගන්නා දැනුම හා ඔබ සතු සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම භාවිතා කරලා කොහොම හරි වචන ගැට ගහලා වාක්‍ය වශයෙන් කතා කරන්න පටන් ගන්න. මේ අතර වාරේ ඔබට කීමට අපහසු වෙන දේවල් ඒ කියන්නේ හරියටම ඉංග්‍රීසියෙන් කතා කර ගන්න බැරි උන දේවල් පොඩි පොතක ලියල තියා ගන්න. පන්ති ගිහිල්ලා සර්ගෙන් / මිස්ගෙන් ඒවා කතා කරන්නේ කොහොමද කියල හරියටම අහ ගන්න.

හිතන්නෙත් ඉංග්‍රීසියෙන්

අපි දවසකට මොන තරම් දේවල් ගොඩක් හිතන් හිතනවද ? මොහොතකට කල්පනා කරලා බලන්න අපේ සිතීමේ භාෂාව මොකක්ද කියලා. සිංහලෙන් නේද අපි හිතන්නේ. ඔව් අපි කතා කරන භාෂාව වෙන සිංහලම තමයි අපි සිතීමේ භාෂාව වෙන්නෙත්. දැන් මේක වෙනස් කරන්න කාලේ හරි. දැන් ඔය හිතින් හිතන දේවලුත් ඉංග්‍රීසියෙන්ම හිතන්න කාලේ ඇවිත්. ඔන්න අද ඉදන් ඔයාගේ thinking language එක වෙන්නේ ඉංග්‍රීසි. තනියම හිතින් හිතන දේවල් ඔක්කොම අද ඉදන් ඔයා හිතන්න ඕනේ ඉංග්‍රීසියෙන්. මරු වැඩේ නේද ?

ෆිල්ම් බලන්න

මේ මොන හරුපයක්ද මේ ? දැන් පන්ති යන්න කිව්වා. ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගන්න කිව්වා. හිතින් හිතන දේවලුත් හිතන්න කිව්වේ ඉංග්‍රීසියෙන්. එත් දැන් කියනව ෆිල්ම් බලන්නලු. ඔව් ෆිල්ම් බලන්න තමයි කිව්වේ. හැබැයි ඉංග්‍රීසි උපසිරසි තිරය පහලින් ධාවනය වෙන හොද ඉංග්‍රීසි චිත්‍රපටි විතරයි.ඉංග්‍රීසි  ෆිල්ම් නම් ඉතින් ගොඩ දෙනෙක් බලනවනේ. හැබැයි අපි කරන ලොකු මෝඩ වැඩක් තමයි ඉංග්‍රීසි ෆිල්ම් එකට හරියන සිංහල උපසිරසි හොයලා ෆිල්ම් එක බලන එක. එකෙන් ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන වටිනා අවස්ථාවක් අහිමි වෙනවා. හොදම වැඩේ තමයි ෆිල්ම් එකට අදාළ ඉංග්‍රීසි උපසිරසි එක්ක ෆිල්ම් එක බලන එක. ඊට පස්සේ ඔයා බලපු හැම ෆිල්ම් එකකම අවසානයේ ඔයාට හොදින් මතක හිටපු වාක්‍ය 20ක් කොලේක ලියලා හොදට කට පාඩම් කර ගන්න. ඔන්න සතියකට ඔයා ෆිල්ම් 5ක් බැලුවොත් හොද ඉංග්‍රීසි වාක්‍ය 100ක් ඔයාට කට පාඩම්

ඉංග්‍රීසි පුවත් පත් කියවන්න / ප්‍රවෘත්ති අහන්න

පැසිව් වොයිස් ගැන හොදට ඉගෙන ගන්න පුළුවන් ක්‍රම 2ක් තමයි දිනපතා ඉංග්‍රීසි පුවත් පත් කියවීම හා ප්‍රවෘත්ති වලට සවන් දීම කියන්නේ. මේ දේවල් කරන කොටත් හොදින් අහන ඉදලා ඔයාට මතක හිටපු ආකර්ශනීය වාක්‍ය ඛණ්ඩ අර පොතේ ලියලා පාඩම් කර ගන්න. මේ පොත අනිවාර්යයි හොදේ. පස්සේ කියන්නම්කො හේතුව.

අල්ලමු ඉංග්‍රීසි රේඩියෝ චැනල් එකක් 

අපි ගොඩක් වේලාවට බස් එකේ කෝච්චියේ යන කොට ඉයර් ෆෝන් දෙක ගහගෙන ඔය වැඩක් නැති සින්දු අහන්නනේ පුරුදු වෙලා ඉන්නේ. අදම ඒ වැඩේ නතර කරමු. වැඩක් නැති සින්දු වෙනුවට ටියුන් කරන්න හොද ඉංග්‍රීසි චැනල් එකක්. දැන් ඔයාට ගොඩක් ඉංග්‍රීසි වාක්‍ය ඛාණ්ඩ ඇහෙන්න ගන්නවා. හොද ඉංග්‍රීසි සින්දු ඇහෙන්න ගන්නවා. ඉංග්‍රීසි සින්දු වල ලිරික්ස් ඉන්ටර්නෙට් එකෙන් හොයලා ඒ ගමන් කියවන්නත් පුළුවන්. මේ දේවල් ඔයාගේ හිතට වදින කොට ටික ටික ඔයාගේ දැනුම වැඩි වෙනවා. මේ වැඩේ කරනකොටත් ඔයාගේ හිතට හොදට වදින මතක හිටපු ඉංග්‍රීසි වාක්‍ය අර පොතේ ලියලා පාඩම් කරන්න

ඉංග්‍රීසි පොත පත කියවීම

අවසන් කාරණය තමයි ඉංග්‍රීසි පොත පත හොයාගෙන කියවන එක. ඔබට කියවීමට පහසු සරල ඉංග්‍රීසි සහිත පොත් මුලින්ම හොයා ගන්න. ශබ්ධ කොශයකුත් ලගින් තියාගෙන ගේමට බහින්න. බැරි වෙන වචන ටක් ගාලා ඩික් එකෙන් බැලුවා. තේරුම් ගත්තා. ඇත්තටම මේ වැඩේට ඔයා පුරුදු උනොත් කවදා හරි දවසක මේක ඔයාගේ දෛනික පුරුද්දක් බවට පත් වෙන්න බැරිත් නෑ. ඒ තරමට මේක ආකර්ශනීය වැඩක්. මේ වැඩේ කරන කොටත් ඔයාගේ හිතට වැදුණු වාක්‍ය අර පොතේ ලියන්න.
හරි ඔන්න ඉංග්‍රීසි බෝරින් වෙන්නේ නැතුව ඉගෙන ගන්න පියවර ටික දැන් කියල ඉවරයි. මේ හැම පියවරකදීම වගේ අපි කිව්වා නේද ඒ වැඩේ කරන කොට හිතට වැදුණු ඉංග්‍රීසි වාක්‍ය පොතක ලියලා පාඩම් කර ගන්න කියලා. මේක ඉතාමත්ම වැදගත් දෙයක්. අහගන්නකෝ එහෙනම් හේතුව.  ඔයාට මතකද අප පොඩි කාලේ සිංහල ඉගෙන ගත්ත හැටි. ඉපදුනු දවසේ ඉදන් අපේ කනට ඇහුනු වාක්‍ය ඛණ්ඩ මතක තියාගෙන ඉදලා වයස 2-3 වෙනකොට අපි පොඩි වාක්‍ය විදියට සිංහල කතා කරන්න පටන් ගත්තා නේද ? එදා ඉදන් අපි සිංහල භාෂාවේ නිතර භාවිතා වන වාක්‍ය දස දහස් වාරයක් කතා කරලා ඇති. කතා කරලම අපිට ඒ වාක්‍ය කටපාඩම් වෙලා. ඒ නිසාම ඒ වාක්‍ය වල ව්‍යාකරණ හා උච්චාරණ නිවැරදිතාවය ගැන අපිට කිසිම සැකයක් නෑ. මෙන්න මේ වගේම තමයි අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නත් ඕනේ. වාක්‍ය පිටින් ධාරණය , මතක තබා ගැනීම හා උච්චාරනය නිවැරදිව සිදු කිරීමට පුරුදු උනොත් ව්‍යාකරණ දෝෂ ගැන කිසිදු බයක් සැකයක් ඇති කර ගන්නේ නැතුව ඔයාට ඕන තැනක කතා කරන්න පුළුවන් වේවි.

මේ ලිපිය ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න.

 

Comments